මොස්කව් නුවර විශාලතම එළිමහන් ප්‍රදර්ශන භූමිය වන VDNH ප්‍රදර්ශන සංකීර්ණයේදී ජූනි 10 සිට 14 දක්වා පැවැත්වුණු 6 වැනි ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක සංසදය (ITF) 2026 සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සාර්ථක ලෙස සහභාගී විය. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ චමිල ජයරත්න සහ සහකාර අලෙවි අධ්‍යක්ෂ සසිකා ජයවීර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. මීට අමතරව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර මහත්මිය සහ ප්‍රථම වාණිජ ලේකම් සංජීව බණ්ඩාර මහතා ද මෙම දූත පිරිසට එක් වූහ. ශ්‍රී ලංකා දූත පිරිසේ මෙම සාර්ථක සහභාගීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩූ තානාපති කාර්යාලය සහ 'රොස්කොන්ග්‍රස්' පදනම (Roscongress Foundation) සුවිශේෂී සහයෝගයක් ලබා දෙන ලදී.

රුසියාවේ ප්‍රමුඛතම සංචාරක ඉසව්වක් ලෙස සැලකෙන මෙම සංසදය සඳහා නරඹන්නන් 511,000 කට අධික සංඛ්‍යාවක්, රටවල් සහ කලාපීය ප්‍රදර්ශන කුටි 180 ක් සහ ආයතන 574 ක් සම්බන්ධ වී සිටියහ. එහිදී ජාත්‍යන්තර සහභාගීත්වයන් 12 ක් අතුරින් විශිෂ්ටතම ඇගයීමක් වන ‘Let’s Travel First-Degree Laureate Award’ සම්මානයෙන් ශ්‍රී ලංකාව පිදුම් ලැබූ අතර, එය ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ඇති වෙමින් පවතින ඉහළ පිළිගැනීම මැනවින් පිළිබිඹු කරන්නකි.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සංචාරක හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට මෙම සංසදය කදිම වේදිකාවක් විය. නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රණසිංහ මහතා, රුසියාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දිමිත්‍රි වක්රුකොව් (Dmitry Vakhrukov) මහතා මෙන්ම ශාන්ත පීටර්ස්බර්ග් සහ ස්වර්ඩ්ලොව්ස්ක් (Sverdlovsk) කලාපීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීය. එහිදී ගමනාන්ත ප්‍රවර්ධනය, හඳුන්වාදීමේ සංචාර (Fam Tours), කලාපීය ප්‍රවේශයන් සහ ගුවන් සන්නිවේදන සබඳතා ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු වූ අතර, රුසියානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමට අවශ්‍ය පදනම මෙහිදී සකස් කෙරිණි.

එමෙන්ම, නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවැත්වුණු උසස් මට්ටමේ පැනල් සාකච්ඡා (Panel Discussions) දෙකක් සඳහා ද දායකත්වය ලබා දුන්නේය. "ඍජු ගුවන් ගමන්, සරල කළ වීසා ක්‍රමවේද සහ සංචාරක කර්මාන්තයට ඉන් ලැබෙන බලපෑම" සහ "ජාතික වැදගත්කමකින් යුත් සංචාරක ව්‍යාපාරය: ජාත්‍යන්තර සහයෝගීතාවයේ උපායමාර්ගික විභවය" යන තේමාවන් ඔස්සේ පැවැත්වුණු එම සාකච්ඡාවලදී, සංචාරක පහසුකම් නැංවීමට සහ දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ඔහු අවධාරණය කළේය.

මාධ්‍ය සහ ප්‍රවර්ධන කටයුතු

රුසියාවේ වඩාත්ම බලපෑම් සහගත මාධ්‍ය ආයතන දෙකක් වන TASS සහ Sputnik පුවත්පත් ආයතන සමඟ පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡා හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් පිළිබඳව විශාල ප්‍රචාරණයක් ලබා ගැනීමට හැකි විය. මේ තුළින් ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම් සෘජුවම රුසියානු ජනතාව වෙත සන්නිවේදනය කිරීමටත්, ශ්‍රී ලංකාව නැමැති සන්නාමය (Brand) රුසියාව තුළ ප්‍රචලිත කිරීමටත් අවස්ථාව ලැබුණි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ විශේෂතා

සංසදයේ පැවැති ආකර්ෂණීයම ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි අතරින් එකක් බවට ශ්‍රී ලංකා කුටිය පත් විය. අලි ඇතුන්ගේ අනුරූ, සාම්ප්‍රදායික සංස්කෘතික නර්තනාංග, සැබෑ ලංකා තේ රසවිඳීමේ අවස්ථා මෙන්ම වෙරළ තීරයන්, වනජීවී, සුවතා (Wellness) සහ වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රයන් නිරූපණය වන ප්‍රවර්ධන ද්‍රව්‍යවලින් එය සමන්විත විය. මේ හේතුවෙන් විශාල නරඹන්නන් පිරිසක් ශ්‍රී ලංකා කුටිය වෙත ඇදී ආ අතර, මීට පෙර ලංකාවේ සංචාරය කළ රුසියානුවන් ද සිය සුභවාදී අත්දැකීම් බෙදා හදා ගනිමින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසනීයත්වය තහවුරු කළහ.

ව්‍යාපාරික සහ පාරිභෝගික සබඳතා

දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙත පැමිණ ඉදිරි සංචාරක අවස්ථා පිළිබඳ තොරතුරු ලබා ගත්හ. එමෙන්ම, මෙහිදී පැවැත්වුණු B2B (Business-to-Business) සාකච්ඡා වට හරහා ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිතයන් සහ රුසියාවේ කලාප අටක (8) සංචාරක සංවිධායකයන් (Outbound Tour Operators) එකිනෙකා හා සම්බන්ධ කිරීමට හැකි විය. මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් නගරවලින් ඔබ්බට ගොස් සමස්ත රුසියාව පුරාම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට, නව නිෂ්පාදන හඳුන්වා දීමට සහ ඒකාබද්ධ අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙමඟින් මඟ පෑදුණි.

නිරීක්ෂණය

ITF 2026 සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සංචාරක සබඳතා ශක්තිමත් වූවා සේම, ශ්‍රී ලංකාව වසරේ ඕනෑම කාලයක සංචාරය කළ හැකි සුවිශේෂී ගමනාන්තයක් ලෙස තහවුරු කිරීමට ද හැකි විය. මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල් ද මෙම සංසදයේදී දැඩි තරඟකාරීත්වයක් ලබා දෙමින් ප්‍රවර්ධන කටයුතු සිදු කළ පසුබිමක, ශ්‍රී ලංකා කුටිය එහි සංස්කෘතික විචිත්‍රවත්භාවය සහ සැබෑ අනන්‍යතාවය හේතුවෙන් කැපී පෙනුණි. රුසියානු වෙළෙඳපොළ තුළ මෙවැනි අඛණ්ඩ ප්‍රවර්ධන වැඩසටහන් පවත්වාගෙන යාමේ වැදගත්කම මෙමඟින් තවදුරටත් සනාථ වේ.

 

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය