සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන මාර්ගෝපදේශකයින් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි..

සංචාරක ව්‍යාපාරය ක්‍රමවත් කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයින් සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන යන වැඩපිළිවෙළ හඳුන්වාදීමේ  වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ  උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම මාර්ගෝපදේශකයින් ගේ දැනුම හා කුසලතාවය වර්ධනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමය යටතේ අඛණ්ඩ  වෘත්තීය සංවර්ධන පාඨමාලාවක් හඳුන්වාදීම ද මෙහිදී සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -

කොරෝනා වෛරස තත්ත්වයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය දෙස අලුතෙන් බලන්න සිද්ධ වෙනවා.මේ හේතුවෙන් සෑම රටක්ම සංචාරක ක්ෂේත්‍රය  සම්බන්ධයෙන් නව ක්‍රමවේද වලට අවතීර්ණ වෙමින් සිටිනවා. කොවිඩ්  නිසා නතර නොවී සංචාරක ක්ෂේත්‍රය ‍ඉදිරියට ගෙන යන්න වෙනවා. ඒ සඳහා සංචාරකයන් වෙනුවෙන් උසස් තත්වයේ සේවා සපයන (quality tourism)  ක්‍රමයක්  සකස් කල යුතුව තිබෙනවා.

සංචාරකයන් ගෙන් ලබාගන්නා මුදලට සරිලන සේවයක් සංචාරකයින් වෙනුවෙන් ලැබුණෙ නැත්නම් රටේ කීර්තිනාමයට හානි වෙනවා. සංචාරක මාර්ගෝපදේශකයින් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදෙන මේ වැඩපිළිවෙළ කාලෝචිතයි.  මේ යටතේ මාර්ගෝපදේශකයින් සඳහා වර්ණ සහිත නව හැදුනුම්පතක් ලබා දෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මෙහි එක් අරමුණක්. මේ වෙනකොට සංචාරක මාර්ගෝපදේශකයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික තලයේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 1580ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඔවුන්ට කොළ පැහැති හැදුනුම්පතක් ලබා දෙනවා. රියදුරු සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස ලියා පදිංචි වී සිටින මාර්ගෝපදේශකයින් 1336කට කහ පැහැති හැඳුනුම්පත ලැබෙනවා.

ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස මාර්ගෝපදේශකයන් 747 ලියා පදිංචි වී සිටිනවා. ඔවුන්ට දුඹුරු පැහැති හැඳුනුම්පත ලැබෙනවා. ස්ථානීය මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස ලියාපදිංචි වී සිටින 93න් දෙනාට රතු පැහැති හැඳුනුම්පත ලැබෙනවා.මේ හැඳුනුම්පත් වල කිව්.ආර් කෝඩ් එක මඟින් මාර්ගෝපදේශකයා පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව සංචාරකයාට හිමිවෙනවා. විදේශීය සංචාරකයෙක්ට තමන් සමග සිටින මාර්ගෝපදේශකයා පිළිබඳ හොද හෝ නරක සම්බන්ධයෙන් මේ හරහා දැනුවත්වීමට හැකියාව ලැබෙනවා.

ඉස්සර වගේ දැන් සංචාරකයින්ට බොරු කරන්න බැහැ. අන්තර්ජාලය ඔස්සේ පලවෙන ලිපි අධ්‍යයන කරලා ඒ අය ලංකාවට එන්නේ. සංචාරකයින්ගේ චෝදනා  විමර්ශනය කර සංචාරක හැඳුනුම්පත අවභාවිතා කරන අය හඳුනා ගැනීමේ හැකියාව අපට හිමිවෙනවා.

අපේ රජය බලයට පත්වන විට සංචාරක සේවා ආයතන නිසි ලෙස ලියාපදිංචිය කර තිබුණේ නැහැ. විසි දෙදහසක් පමණ සංචාරක සේවා ආයතන තිබුනත් ලියාපදිංචි කර තිබුණේ ආයතන දෙදහසක වගේ ප්‍රමාණයක්. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ පසුබෑමක් සිදු වුණත් එය කඩිනම් කර ගත යුතුයි. ලියාපදිංචි ක්‍රමවේදය සරල කිරිමත් සමග මෙම ආයතන ලියාපදිංචි කිරීම 30% පමණ ඉහළ ගොස් තිබෙනවා. 

එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමග සංචාරක ව්‍යාපාරය නව ප්‍රවේශයකින් ආරම්භ කිරීම අපේ අපේක්ෂාවයි. සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත වූවන්ට එන්නත් කිරීමේ වැඩපිළිවෙළ මේ වෙනකොට සාර්ථකව කරගෙන යනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව අපේ රටට සංසරණ සීමා පනවා ඇති රටවල සංචරණ සීමා ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. සංචාරක ව්‍යාපාරය හැකි ඉක්මනින් පෙර පැවති තත්ත්වයට වඩා හොඳ තැනකට ගෙන ඒම අපේ අරමුණයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති හා තත්ව ආරක්ෂණ අංශයේ 2020 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාව එළිදැක්වීමද මෙහිදී  සිදුකෙරුණ අතර  සංචාරක සේවා සපයන ආයතන, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි  කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වීඩියෝ මාලාවක් හඳුන්වා දීම ද සිදුවිය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය